Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / පවිත්‍රා දුවගෙන් ජෝන් මාමාට ප්‍රශ්න

පවිත්‍රා දුවගෙන් ජෝන් මාමාට ප්‍රශ්න

ආණ්ඩුවේ පාර්ශවයන් අතර මේ වනවිට ගැටුම් හටගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.

‘‘බාර් අරින වෙලාව පොඞ්ඩක් පරක්කු වෙලා තිබිලා තියෙන්නේ. රටේ මිනිස්සු කෑ ගහලා ඉල්ලලා තියෙන්නේ අනේ ඉක්මනට උදේ අටට බාර් අරින්න. රෑ දහයට වහන්න කියලා. දෙකක් ගහලා සූර් වෙලා ඉන්නකොට කුස්සිය පේන්නෙත් නෑ, රට පේන්නෙත් නෑ. දැන් බැඳුම්කර හොරකම ගැන කතා කරනකොට පොඩි හොරකම් යට යනවා. මේ තිරිගු කිලෝ එකකට රුපියල් 09 ක බද්දක් ගැහුවා. ඇමති කමිටුවත් එක්ක එකතු වෙලා මේ රුපියල් නවය අඩු කරනවා. පිටි ලංකාවට ගේනකොට මේ ගහන බද්ද අයින් කරලා රුපියල් බිලියන 18 ක් හොරකම් කරනවා. දැන් බලන්නකෝ ලොකු හොරු ටයි දාලා ඉංගී‍්‍රසියෙන් කතා කරලා මහ බැංකුව හොරා කනකොට, ටයි නොදාපු ජාතික ඇදුම අදින පොඩි පොඩි හාදයෝ පාන් පිටිවලින් ගහනවා බිලියන් 18 ක්. දිව්‍යලෝකය කරන්න ඇවිල්ලා ලංකාව දැන් අපායට අන්තයි. දැන් මේ ආණ්ඩුව හැදුවේ එජාපයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දැන් ඒ දෙක ඇතුලෙම ප්‍රශ්න. එක මහ ඇමතිවරයෙක් කියනවා ගෝඨාව අත්අඩංගුවට ගන්න ගිය එක රාජපක්ෂ පවුලේම වැඩක් කියලා. රාජපක්ෂ පවුලේ උදවිය තනතුරුවලට වාසිවලට සහෝදරකම් බිලිදෙන පවුලේ අය නෙවෙයි. දැන් බලනවා මොකක් හරි තුරුම්පුවක් දාන්න පුලූවන්ද කියලා. මතක තියාගන්න ගෝඨාව අත්අඩංගුවට ගත්තොත් ඒකට නැගිටින්න මේ රටේ මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා.’’

එම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න වෙත ප්‍රශ්නයක් යොමු කළා.

‘‘අපේ මාමන්ඩියා ජෝන් සෙනෙවිරත්න, රත්නපුරේදී ප්‍රසිද්ධියේ පිළිගන්නවා මේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ දෝෂ තියෙනවා. ඒකට වගකියන්න  ඕනි යූ.ඇන්.පී. එකේ ඇමතිවරු. ඒ ගැන කණගාටු වෙනවා කියලා. එතකොට විනාශ වෙච්චි ආර්ථිකයක ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා කොහොමද කම්කරුවන්ව රකින්නේ. අපිට පේන්නේ මේ අය මේ ආණ්ඩුවේ ඉන්නේ තමන්ගේ ගැන හිතන හින්දා. අපේ ආණ්ඩුව කාලේ දේශපාලන වශයෙන් පරස්පරතා තිබුණත්, අපිට තිබ්බා එක මූල්‍ය ප්‍රතිපත්තියක්. පහුගිය කාලේ යුද්ධ කරනකොටත් ඒ අයට එක දර්ශනයක් ඉලක්කයක් තිබුණේ නෑ. අද යුද්දේ කරන්න කියනවා, හෙට සාම සාකච්ඡා පටන් ගන්නවා. චන්ද්‍රිකා මැතිණියත් යුද්ධය සම්බන්ධයෙන් එක දවසකට විහාර මහාදේවී වෙනවා. අනිත් දවසට දෝන කතිරිනා වෙනවා. මෙහම කටයුතු කරන එජාපයයි, චන්ද්‍රිකයි එකට එකතුවෙලා රට ගෙනියන්න ගියාම රටට දෙයියන්ගේම පිහිටයි. බලන්න ටෝක් නම් තියෙනවා. කමින් වැඩ තියෙනවා. හැබැයි හයි ස්පීඩ් එකෙන් රට රිවස් එකට යනවා.

එහිදී මාධ්‍යවේදීන් සුරාසැල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විමසා සිටි අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

‘‘රතන හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ පිඩු සිගා වඩිනවා නම් උදේ අටට පෙර වඩින්න. මොකද අටට පෙර වැඩියේ නැති වුනොත් ඔබ වහන්සේට දැක ගන්න පුලූවන් බෝතල් දෙක අතින් අරන් තැබෑරුමෙන් එන දර්ශනේ. මේ ආණ්ඩුව පෙරලගත්තේ  ඕවටනේ.’’

මේ අතර, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මත්පැන් සම්බන්ධයෙන් රජය සිදුකළ සංශෝධන පිළිබඳව අදහස් පළ කළේ මෙලෙසින්.

‘‘සීනි ටික පරිප්පු ටික හාල් ටික පොල් මේවා අඩුවෙයි කියලයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයක් ලං වෙනකොට. මේ ආණ්ඩුව මැතිවරණය ලංවෙනකොට අඩු කරන්නේ බියර් සහ වයින්. ඒ විතරක් නෙවෙයි කාන්තාවන්ට මත්පැන් ශාලාවල මත්පැන් විකිණීමේ බලය ලබාදෙනවා. ඒ වගේම එම ආයතනවල බාර්වල සේවය කරන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. මෙතෙක් කලක් අපේ රටේ තහනම් කරලා තිබ්බ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ හැකියාව අද ගැසට් නිවේදනයක් මගින් අවලංගු කරලා තියෙනවා. ඒ නිසා උත්තරීතර මව්වරුන්ට වසර 03 ක් පිරෙනකොට මේ වෙනස වෙලා ඔන්න මව්වරුන්ට ලබාදීලා තියෙන දායාදය. ඒ විතරක් නෙවෙයි ඊයේ ගැසට් නිවේදනයක් මගින් පැනෙව්වා මත්පැන් ශාලා විවෘත කරන වේලාවන් සංශෝධනය කරලා තියෙනවා. ඒ නිසා උදේ පාන්දර අටට දැන් මත්පැන් ශාලා අරිනවා, දැන් නම් තේ එක බොන්න එන්නේ නෑ කෙලින්ම බාර් එකට යන්න පුලූවන්. ඒ නිසා මේ රටේ මිනිස්සු ආර්ථික ප්‍රශ්නවලින් වෙලිලා හෙම්බත් වෙලා පීඩනයට පත්වෙලා තියෙන වෙලාවක ඒ ආර්ථික පීඩනය අවම කරගන්න ජනතාවට සහන දෙනවා මදිවට, ජනතාව රවට්ටන්න ජනතාව මත් කරන්න මේ දේශද්‍රෝහී වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න පවිටු අරමුණකින් රජය ක්‍රියා කරන බවට අපි චෝදනා කරනවා.’’

එහිදී සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා තවදුරටත් මත්පැන් නිෂ්පාදන ආයතනයකට ලබාදී ඇති බදු සහනයක් සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ කළා.

‘‘ඉතා වගකීමෙන් කියනවා සෑම මාසයකම මත්පැන් නිෂ්පාදන ආයතනයක් ඒ මාසයේ 30 වැනිදා වෙනකොට අදාළ බදු මුදල ගෙව්වට පස්සේ තමයි බලපත්‍රය අලූත් කරන්නේ. අපි දන්නවා දෙසැම්බර් මාසේ 30 වැනිදා වෙනකොට අර්ජුන ඇලෝසියස්ට මහබැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් කොම්පැනිය මිලියන 580 ක් ගෙවන්න තිබ්බා. ඔහු ගෙවලා තිබ්බේ ඊයේ වනවිට මිලියන 120 යි. ඒ වුනාට බලපත්‍රය දීර්ඝ කරනවා. ආණ්ඩුවේ පාර්ශව සතුටු කරන්න අද බදු සහන දීලා තියෙනවා මත්පැන් නිෂ්පාදකයින්ට, මත්පැන් ගෙන්වන්නන්ට. රටේ ජනතාවට හුලං.’’

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *